දේශීය පුවත්, ප්රධාන පුවත
විවෘත ඡන්දයක් ඉල්ලූ කොළඹ මන්ත්‍රිනිය පහරකෑමෙන් රෝහලේ
(සාලිය සමන්)
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා පත්කිරීමේ ඡන්දය විවෘත ඡන්දයක් ලෙස පත්වන ලෙස හඩනැගූ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි මහත්මිය ජාතික ජනබලවේගයෛ් ආධාරකරුවන් යැයි කියන පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා පත්කිරීමේ ඡන්දය පිළිබඳව පැවැති විවාදයේදී යූ. සඳමාලි මහත්මිය විපක්‍ෂය වෙනුවෙන් දැඩි හඬන් නැඟූ අතර එහිදී ඇය විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවට දැඩි ස්ථාවරයේ සිටියාය.
සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇති මන්ත්‍රීවරියට හිමි කඩයට පැමිණ මෙම පිරිස මන්ත්‍රීවරියට කොළඹ නගර සභාවේ පළමු රැස්වීම පැවැති පෙරේදා (16) පස්වරුවේ පරදී ඇති බවත් එම පහරදීමෙන් මන්ත්‍රීවරියගේ මුහුණට සහ හිසට තුවාල වී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසුමකදී පැවසුවේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් පහරදීමට සම්බන්ධ කිසිවෙක් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත්ය.
යූ. සඳමාලි මහත්මිය මෙම සිද්ධිය පිළිබඳව පැවසුවේ නගර සභාවේ රැස්වීමට සහභාගි වී පැමිණිමෙන් පසුව ජාතික ජනබලවේගයේ ආධාරකරුවන් යැයි කියන පිරිසක් සිය කඩයට පැමිණ බැන වැදී පහරදුන් බවත් තුවාල ලැබූ තමන් පහර දුන් පුද්ගලයන්ගෙන් මිදී පාරේ ධාවනය වෙමින් තිබූ වාහනයක නැගී ජාතික රෝහලට පැමිණි බවත්ය.


