බැංකු කළමනාකරු ලක්‍ෂ 3,500 කට විදලා

(සාලිය සමන්) මෙරට ප්‍රධාන වාණිජ බැංකුව කොළඹ දිස්ත්‍රිකක්යේ ශාඛාවකින් ව්‍යාපාරිකයන් කීපදෙනෙක්ගෙන් රුපියල් ලක්ෂ 3,500 කට අධික දැවැන්ත මුදලක් සොරකම් කර ඇතැයි එම ව්‍යාපාරිකයෝ පවසති. මෙම මුදල් සොරකම නිසා ව්‍යාපාර බංකොළොත්වීමෙන් දැඩි අපහසුතාවට පත්ව ඇතැම් ව්‍යාපාරිකයන් මානසික රෝගීන් බවට පත්ව ඇති බව කියන ඔවුහු මුදල් සොරකම් කළ බැංකුවෙන්ම ඇතැම් ව්‍යාපාරිකයන්ට ණය නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණවල නඩු පවරා තිබීම හාස්‍යය දනවන බව ද පවසති. අදාල බැංකු ශාඛාවේ කළමණාකරු ඇතුළු පිරිසක් එකතුව මෙම හොරකම කර ඇති බව කියන එම ව්‍යාපාරිකයෝ ඇතැම් ව්‍යාපාරිකයන් ඔවුන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිළි කර ඇති බව ද සඳහන් කරති. අදාල බැංකු ශාඛාවේ බැංකු කළමණාකරුගේ මූලිකත්වයෙන් පිරිසක් එකතු කළ මෙම සොරකමට බැංකුව වගකියයුතු බව ද ඔවුහු සඳහන් කළහ. අදාල ප්‍රධාන වාණිජ බැංකුවෙන් තම මුදල් අයකරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව, ආණ්ඩුව සහ පොලිසිය ඇතුළු සෙසු වගකිවයුතු බලධාරීන් මැදිහත්විය යුතු බව ද ඔවුහු පවසති. දේශීය වෛද්‍යවරයෙක් ද වන වාහන ආනයනය කරන ව්‍යාපාරිකයෙක් වන කැළුම් වීරසිංහ මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේ බැංකුව සිය මුදල් රුපියල් මිලියන 337 ක් හෙවත් ලක්‍ෂ 3370 ක් පමණ සොරකම් කර ඇති බවත් වාහන අළෙවි කළ එල්සීවල මුදල් ඕඩී කර කපාහැරීමෙන් සොරකම කර ඇති බවත්ය. අදාල බැංකු ශාඛාවේ කළමණාකරු, එම ශාඛාව අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය කළමණාකරු ඇතුළු සියලු දෙනා එම සොරකමට සම්බන්ධ බව කියන කැළුම් වීරසිංහ මහතා තමන් ඇතුළු ව්‍යාපාරිකයන් රැසකට ඕඩී සහ ණය ඉල්ලිමකින් තොරව ණය ගිණුම්වලට දමමින් නැවත මුදල් ගනිමින් සොරකම කර ඇති බව ද සඳහන් කළේය. විශාල පිරිසකගේ මුදල් එම බැංකු ශාඛාව හරහා සොරකම් කර ඇති බවත් එම තත්වයට පත්වූ ව්‍යාපාරිකයන් හිඟමනටපත්ව ඔවුන්ට සිදුවූ අසාධාරණය කියාගැනීමට නොහැකි තත්වයට පත්ව සිටින බවත් ඒ මහතා කීය. සීඅයිඩීය බැංකුවේ කළමණාකරු සහ පිටස්තර පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නිදහස් කර ඇති මෙන්ම එම සිද්ධිය පිළිබඳව පුද්ගලයන් පස්දෙනකුට විදේශ ගමන් තහනමක් ද ගත් බවත් කෙසේ වෙතත් පොලිසිය කරන පරීක්ෂණ පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොමැති බවත් ව්‍යාපාරික කැළුම් වීරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. මාර්ග සංවර්ධන කිරීමේ ව්‍යාපාරයක හිමිකරුවකු වූ අරුණ රත්නායක මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේ එම බැංකුවේ ඉහත සඳහන් ශාඛාවෙම කළමණාකරු ලක්ෂ 400 ක පමණ සිය මුදල් සොරකම් කර ඇති බවත් කළමණාකරුගේ ව්‍යාපාර කරන හිතවතුන්ට එම මුදල් දී ඇති බවත්ය. සිය ගිණුම් දෙකක් ඕඩී කර බැංකුවේ කළමණාකරු රුපියල් ලක්ෂ 130 කට පමණ මුදල් ඔහුගේ හිතවතුන් දෙදෙනක්ට දී මුදල් සොරකම් ඇති අතර ඔහු වෙනත් ගිණුම්වලින් සිය ගිණුම්වලට මුදල් බැර කරමින් එම ගිණුම් යාවත්කාලීන කර ඇති බව ලේඛණවලින් තහවුරු වන බවත් ඒ මහතා කීය. එම ඕඩී කළ ගිණුම් දෙකේ මුදල්වලින් ශතයක්වත් තමන් ලබාගෙන නොතිබුණ ද අදාල ගිණුම් දෙක සම්බන්ධයෙන් එම බැංකුව තමන්ට නඩු පවරා තිබීම විශ්මයදනවන සිද්ධියක් බවත් ඒ මහතා කීය. මෙම තත්වය හේතුවෙන් සිය ව්‍යාපාර සම්පූර්ණයෙන් කඩා වැටී වාහන වාරික නොගෙවීම නිසා බැංකු ලබාගැනිමෙන් මෝටර්සයිකලයට වැටුණු බවත් සිය මුදල් අයකරගැනීමට බලධාරීන් මැදිහත්විය යුත බවත් අරුණ රත්නායක මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.