ක්‍රීඩා, දේශීය පුවත්
ශ්‍රී ලංකාව දෙවැනි ජයත් ලබයි
(ෂෙවෝන් ප්‍රනාන්දු, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඕමානය අතර මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 105 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ සභාගිවූ දෙවැනි තරගය මෙය වන අතර ශ්‍රී ලංකාව එම තරග දෙකම ජය ලබා ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය.
ලකුණු 226 ක දැවැන්ත ජයග්රාහි ඉල්ලකය හඹාගිය ඕමාන පිල ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 120 ක් පමණි.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් 61, පවන් රත්නායක 60 සහ දසුන් ශානක 50 අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
යොවුන් පිතිකරු පවන් රත්නායක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 28 කින් හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 60 ක් රැස් කළේය.
කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 61 ක් සහ නායක දසුන් ශානක පන්දු 20 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළහ.
දසුන් පන්දු 19 කින් අර්ධ ශතකය සම්පූර්ණ කරමින් විස්සයි20 ලෝක කුසලාන තරගයකදී වේගවත්ම අර්ධ ශතකය රැස්කළ ශ්‍රී ලාංකික පිතිකරු බවට පත්විය.
මෙහිදී දසුන් වසර 19 ක් පැරණි මහේල ජයවර්ධනගේ වාර්තාවක් බිඳහෙළීම කැපී පෙනුණි.
දසුන් පන්දු 20 කින් හතරේ පහර 2 ක් සහ හයේ පහර 5 ක් සගින් ලකුණු 50 ක් රැස්කළේය. මිනිත්තු 20 ක් තුළ හයේ සහ හතරේ පහර සැණකෙළියක් ඉදිරිපත් කළ දසුන්ගේ ප්‍රහාරාත්මක වේගය 250 කි.
ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන දකුණු අප්‍රිකාවේදී 2007 වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යා පිට එරෙහිව පන්දු 21 කින් අර්ධ ශතකය සම්පූර්ණ කරමින් පැරණි වාර්තාවට හිමිකම් කීය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 5 ට 225
(පැතුම් නිස්සංක 13, කුසල් මෙන්ඩිස් 61, පවන් රත්නායක 60, දසුන් ශානක 50, කමිඳු මෙන්ඩිස් නොදැවී 19, ජීටින් රමනන්ඩි 41/2)
ඕමාන් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 120
(මොහොමඩ් නදීම් නොදැවී 53, වසීම් අලී 27, දුෂ්මන්ත චමීර 19/2, මහීෂ් තීක්ෂණ 11/2)


