(ෂෙනික ගමගේ)
නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් හයවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 202 ක සම්බන්ධතාව නිසා බංග්ලාදේශයට එරෙහිව සිලාත්හිදී අද (22) ආරම්භ වූ පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට ලකුණු 280 ක් රැස්කිරීමේ අවස්ථාව උදාවිය.
පළමු දිනයේ ක්‍රීඩාව අත්හිටුවන විට බංග්ලාදේශය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 32 ක් රැස්කර සිටි අතර ඒ අනුව බංග්ලාදේශය කඩුලු 7 ක් ඉතිරිව තවත් ලකුණු 248 ක් පසු පසින් පසුවෙයි.
ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු පහ ලකුණු 57 කට බිඳ වැටීමෙන් පසුව නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් හයවැනි කඩුල්ලට ලකුණු 202 ක විශිෂ්ට සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් තත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
ධනංජය ද සිල්වා නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 131 කින් හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 102 ක් රැස් කළේය. කමිඳු මෙන්ඩිස් සිය මංගල ටේස්ට් ශතකය ලෙස පන්දු 127 කින් හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 102 ක් රැස්කිරීමට සමත් විය.
එම සම්බන්ධතාවෙන් පසුව ඉතිරි කඩුලු හතර ලකුණු 21 ක් තුළ බිඳ වැටීමෙන් ලකුණු 300 පසු කිරීමට තිබූ අවස්ථාව අහිමිවිය.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සියලු දෙනා දැවී 280
(දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 16, ධනංජය ද සිල්වා 102, කමිඳු මෙන්ඩිස් 102, කලීඩ් අහමඩ් 72/3, නහීඩ් රනා 87/3)
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 10 කදී කඩුලු 3 ට 32
(විශ්ව ප්‍රනාන්දු 9/2)


