දේශීය පුවත්
ඉන්ධන බවුසර් හොරු ඛනිජතෙල් සංස්ථා අධ්‍යක්‍ෂවරු වෙලාලු
(ඔගස්ටා පෙරේරා)
ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බවුසර් පිටින්ම සොරකම් කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ නිලධාරීන් එම චෝදනාවලින් නිදහස් කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකස්කරමින් සිටින බවත් එම ඉන්ධන බවුසර් සොරකම් කිරීම සහ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් නිදහස් කිරීමේ සූදානම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පැමිණිල්ලක් කළේය.
සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පෙවරුවේ පැමිණ මෙම පැමිණිල්ල කළේය.
මෙරට ආර්ථික අර්බුදයකට පත්ව තිබූ 2022 සහ 2023 වසරවලදී චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඉන්ධනත් සමඟ ඉන්ධන බවුසර් විශාල සංඛ්‍යාවක් නැතිවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්විණි.
ඉන්ධන බවුසර් සොරකම් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් වර්තමාන ආණ්ඩුව යටතේ ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උසස් තනතුරු දරන බවත් එම වරදකරුවන් නිදහස් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත් දයාසිරි ජයසේකර මහතා එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
ඛනිජ තෙල් සංස්ථාව රුපියල් ලක්‍ෂ 86 ක් වැයකර කළ වෝහාරික විගණනයක් කිරීමෙන් ප්‍රතිඵලයක් නොමැති බව ද එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.


